@luuna0.1_: # වරද පිළිගැනීමේ ප්‍රකාශය ! සමහර කතාවල අවසානය තීරණය වෙන්නේ කවුරුන් හරිද, කවුරුන් වැරදිද යන්න තීන්දු කළ පසුව නොවෙයි. ඇතැම්විට ඒවා අවසන් වෙන්නේ කිසිවෙකුත් කිසිවක් විමසා නොබැලූ, කිසිවෙකුත් තමන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් පෙනී නොසිටි නිහඬතාවක් ඇතුළේ. දෙදෙනාටම කියන්නට බොහෝ දේ තිබුණත්, ඒවා එකිනෙකා ඉදිරියේ දිගහැරීමට තරම් අවස්ථාවක් නොලැබුණු විට, නොකී වචන සාක්ෂි බවටත්, අනුමාන තීන්දු බවටත් පත්වෙනවා.. සමහරවිට ඔවුන්ට තවත් එක් වරක් හෝ මුහුණට මුහුණ කතා කිරීමට අවස්ථාවක් ලැබුණා නම්, සමහර තැන් වල කවුරුවත්ම වැරදි නැති බව හදුනා ගන්න තිබ්බා.නමුත් ඒ නඩුව කිසිදා විභාගයට ගැනුණේ නැහැ. පැමිණිලි ඉදිරිපත් වුණේ නැහැ. සාක්ෂි විමසුණේ නැහැ. දෙපාර්ශ්වයේම නිහඬතාවය විසින් ඔවුන්ටම තම තමන්ගේ තීන්දු ලියා දුන්නා පමණයි. ඉතින්, ඒ නොවිභාග වූ නඩුවේදී මටත් පිළිගැනීමට වැරදි කිහිපයක් තිබෙනවා. මගේ පළමු වරද වූයේ, "මිනිසුන්ගේ හැකියාවන්ට වඩා ඔවුන් කෙරෙහි මගේ බලාපොරොත්තු විශාල කරගැනීමයි." ඔහුට කිසිදා පොරොන්දු නොවූ දේවල් පවා ඔහුගෙන් බලාපොරොත්තු වුණෙමි. ඇතැම්විට ඔහුගේ සාමාන්‍ය හැසිරීම් තුළ පවා මට විශේෂ අර්ථ සොයාගන්නට අවශ්‍ය විය. ඔහු නොකී දේවල් පවා ඔහුගේ නිහඬතාවයෙන් කියවාගන්නට උත්සාහ කළෙමි. මිනිසෙකුට තවත් මිනිසෙකුගේ හිත කියවිය නොහැකි බව දැන දැනත්, මගේ නොකී බලාපොරොත්තු ඔහු තේරුම් ගනීවි යැයි සිතුවෙමි. මගේ දෙවැනි වරද වූයේ, "පුංචි දේවල්වලට පවා බිය වීමයි." ඔහුගේ වචනයක වෙනසක්, පිළිතුරක් ලැබීමට ගත වූ අමතර මොහොතක්, වෙනදා තිබූ සැලකිල්ලක අඩුවක් පවා මගේ සිතේ නොයෙකුත් ප්‍රශ්න ඇති කිරීමට සමත් විය. සිදුවීමටත් පෙර අහිමිවීම් ගැන බිය වූයෙමි. කිසිවක් සිදු නොවූ ඇතැම් රාත්‍රීන්වල පවා, සිදුවිය හැකි දේවල් ගැන සිතා මම මගේම සිත වෙහෙසට පත් කළෙමි. තවත් චෝදනාවක් තිබේ, ස්වාමීනී.. ඒ "පුංචි පුංචි දේවල් සිතේ තබාගෙන ඒවා නැවත නැවතත් සිහිපත් කරමින් මගේම සැනසීම විනාශ කරගැනීමයි." අමතක කළ හැකිව තිබූ වචන මතකයේ තබාගත්තෙමි. අමතක කළ යුතුව තිබූ සිදුවීම්වලට පවා නැවත නැවතත් අර්ථ සෙව්වෙමි. සමහරවිට ඔහුට ඒවා අමතක වී තිබෙන්නට ඇත. නමුත් මම ඒවා සිත තුළ නැවත නැවතත් ජීවත් කළෙමි. මගේ ඊළඟ වරද වූයේ, "ඔහු හැමදාම එතැන සිටීවි යැයි සිතීමයි." සමුගැනීම්වලට පවා කලින් සූදානම් විය යුතු බව මට අමතක විය. සමහර මිනිසුන් අපේ ජීවිතවලට පැමිණෙන්නේ නතර වීමට නොවන බව දැන සිටියත්, ඔහු සම්බන්ධයෙන් පමණක් ඒ සත්‍යය පිළිගැනීමට මම මැළි වුණෙමි. ඇතැම්විට මම ඔහුගේ හෙට දවස තුළත් මට ඉඩක් වෙන් කර තිබුණෙමි. නමුත් ඒ හෙට දවසේ මට ඉඩක් තිබුණාදැයි මම කිසිදා දැන සිටියේ නැත. තවත් එක් වරදක් පිළිගැනීමට අවසර දෙන්න, ස්වාමීනී.. "ඔහුට රිදේවි යැයි සිතා මා සිතූ බොහෝ දේ නොකියා සිටියෙමි." ඔහුගේ හිත රිදවිය හැකි වචන තෝරා ඉවත් කළෙමි. මගේ වේදනාව පවා ඔහුට බරක් වනු ඇතැයි සිතා ඇතැම්විට සඟවාගත්තෙමි. නමුත් එහිදී මට අමතක වූයේ, නොකියූ වේදනාවක් තවත් කෙනෙකුට තේරුම් ගැනීමට නොහැකි බවයි. මට රිදුණු බව ඔහුට නොකී තැන්වල, මම ඔහුට කිසිවක් සිදු නොවූ බව පෙන්වා සිටියෙමි. ඇතැම්විට ඔහු මට රිදවූ බවවත් ඔහු නොදැන සිටින්නට ඇත. ඔහුටත් රිදුණු තැන් තිබෙන්නට ඇත. මට මගේ වේදනාව පැහැදිලි කළ නොහැකි වූවා සේම, ඔහුගේ වේදනාවත් මට නිවැරදිව කියවාගත නොහැකි වන්නට ඇත. ඒ සියල්ල අතරේ මම කළ තවත් වරදක් තිබේ. "මිනිසුන්ට තමන්ගේම සීමාවන් තිබෙන බව අමතක කර, මගේ හැඟීම්වල බර ඔවුන්ටත් දරාගත හැකි යැයි සිතීමයි." ඔහුටත් මට තරම්ම දේවල් දැනෙන්න ඇත්දැයි අදටත් මට නිශ්චිතව කිව නොහැකිය. නමුත් මම දන්නා එකම දෙය නම්, මගේ නොකී දේවල්වලටත්, මගේ නිහඬතාවයන්ටත්, මගේ බලාපොරොත්තුවලටත් ඔහු වගකිව යුතු නැති බවයි. එබැවින්, ස්වාමීනී, මේ නඩුවේදී ඔහුගෙන් තවත් සාක්ෂි විමසීමට අවශ්‍ය නැත. ඔහු නොකළ වරදකට ඔහුව වරදකරුවෙකු කිරීමට මට අවශ්‍ය නැත. මගේ සිතේ ඉතිරිව ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට ඔහු නැවත කැඳවීමටත් මට අවශ්‍ය නැත. අවසානයක් ගැන පැහැදිලි පිළිතුරක්වත් නොලැබුණු කතාවක, තවදුරටත් පිළිතුරු බලාපොරොත්තු වීමත් තවත් එක් අසාධාරණයක් විය හැකිය. ඒ නිසා අවසන් වශයෙන් මට ඇත්තේ එකම ඉල්ලීමකි. වරදකරු මමයි, ස්වාමීනී. ඔහුව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන මැනවි. ඔහුට තවත් වරදකාරී හැඟීමක් නොමැතිව, ආපසු හැරී බැලීමටවත් අවශ්‍ය නොවන තරමේ නිදහසක් ලබා දෙන මැනවි. ඔහුගේ නික්ම යාමට දඬුවමක් නියම නොකරනු මැනවි. මන්ද, ඔහුට නිදහස ලබාදීමට තරම් ප්‍රමාද වී හෝ මම මගේ වැරදි පිළිගෙන අවසන්ය. සමාවෙන්න ! ලූනා.. #luna #sinhalaquotes #kdrama #unspoken #fy
Luna.
Region: LK
Friday 20 November 2026 00:37:29 GMT
Music
Download
Comments
4U | Maliya ✍️📌 :
කැප්ෂන් එක දෙනවකො🫠
2026-11-20 05:43:17
1
@Nikeshara359 :
අනේ 🥺
2026-11-20 01:45:11
1
laila1.1 :
💔
2026-11-20 04:47:06
1
_binadi1 :
2026-11-20 01:16:43
1
4U | Maliya ✍️📌 :
මොකක්ද මේ ෆිල්ම් එක
2026-11-20 05:43:26
1
__N I K Laus__ 🐺 :
2026-11-20 01:35:11
1
S4WiNdA 🧃 :
❤️
2026-11-23 07:46:52
1
CHAM.RUZH 🇱🇰 :
@- نادون -🫀 ko dan
2026-11-21 11:41:51
1
janu :
🥺💔
2026-11-21 03:33:58
1
To see more videos from user @luuna0.1_, please go to the Tikwm
homepage.